ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඇති කරගත් වෙළෙඳ සටන් විරාමය අතරතුර චීනය ඉතා සූක්ෂ්ම ලෙස තම ආර්ථික සහ තාක්ෂණික ආරක්ෂණ පියවරයන් ශක්තිමත් කරමින් සිටින බව වාර්තා වේ. ලබන මාසයේ පැවැත්වීමට නියමිත රාජ්‍ය නායක සමුළුවට පෙර චීනය විසින් එල්ල කළ හැකි ආර්ථික ප්‍රතිප්‍රහාරාත්මක පියවර කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විටත් අනාවරණය කර තිබේ.
විශේෂයෙන්ම ලොව සූර්ය පැනල උපාංග නිෂ්පාදනයෙන් 80%කට වඩා හිමිකම් කියන චීනය එම දියුණු තාක්ෂණය ඇමරිකාවට ලබා දීම සීමා කිරීමට සාකච්ඡා පවත්වන අතර මෝටර් රථ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ පාෂාණ ජපානය වැනි රටවලට අපනයනය කිරීම ද තවදුරටත් සීමා කර ඇත. එපමණක් නොව චීන චිප් නිෂ්පාදකයන්ට අවශ්‍ය උපකරණවලින් අවම වශයෙන් 50%ක් දේශීයව නිපදවන ඒවා විය යුතු බවට නීති පනවමින් ඇමරිකානු සහ ඊශ්‍රායල සයිබර් ආරක්ෂණ මෘදුකාංග භාවිතය නතර කිරීමට දේශීය සමාගම්වලට උපදෙස් දී තිබේ.
විදේශීය රටවල් චීනයට එරෙහිව පනවන අසාධාරණ සම්බාධකවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ද චීන රාජ්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම සටන් විරාමය 2026 නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතය. ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි ප්‍රබල ආර්ථික යුද්ධයකට චීනය මේ වන විටත් සූදානම් වෙමින් සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














