තායිවාන ජනාධිපතිවරයාගේ අප්‍රිකානු සංචාරයකට අදාළව ගුවන් ගමන් බලපත්‍ර අවලංගු කිරීමට ඇතැම් අප්‍රිකානු රටවලට චීනය බලපෑම් කළ බව පවසමින් ඇමරිකාව එල්ල කළ විවේචනය චීන විදේශ අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. “එක් චීනයක්” (One-China) යන ප්‍රතිපත්තියට ගරු කරන ලෙසත්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන ලෙසත් චීනය මෙහිදී වොෂින්ටනයට අවධාරණය කර ඇත.
තායිවානයේ දේශපාලන මිතුරෙකු වන එස්වාටිනි (Eswatini) රාජ්‍යය වෙත යාම සඳහා සීෂෙල්ස්, මුරුසිය සහ මැඩගස්කරය යන රටවල ගුවන් සීමාවන් භාවිත කිරීමට ලබා දී තිබූ අවසරය එම රටවල් විසින් හිටිවනම අවලංගු කර තිබුණි. මෙම තීරණය පිටුපස චීනයේ බලපෑම පවතින බව පවසමින් ඇමරිකාව චීනය විවේචනය කළ අතර, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් (Guo Jiakun) ප්‍රකාශ කළේ එම විවේචන කිසිසේත් පිළිගත නොහැකි බවයි.
තායිවානය සම්බන්ධ කටයුතුවලදී ජාත්‍යන්තරය “එක් චීනයක්” යන රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරය අනුගමනය කළ යුතු බවත්, තායිවානය චීනයේම කොටසක් බවත් චීනය මෙහිදී යළිත් සිහිපත් කර තිබේ.














