බ්‍රිතාන්‍යයේ හැරී කුමරු (සසෙක්ස් හි විරාජමාන කුමරු) අද (23) පෙරවරුවේ යුක්‍රේනයේ කිව් (Kyiv) අගනුවර වෙත හදිසි සංචාරයක නිරත විය. රුසියාව සමඟ පවතින යුද්ධයේ පස්වන වසරට එළඹ ඇති යුක්‍රේනය වෙත ජාත්‍යන්තර සහයෝගය පළ කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. කිව් දුම්රිය ස්ථානය වෙත පැමිණි කුමරු ප්‍රකාශ කළේ යුක්‍රේනය වෙත යළි පැමිණීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවයි.
ලෝක අවධානය මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දෙසට යොමුව ඇති මොහොතක, යුක්‍රේන යුද්ධයේ වැදගත්කම අමතක නොකළ යුතු බව හැරී කුමරු මෙහිදී අවධාරණය කළේය. යුක්‍රේනය යනු යුරෝපයේ නැගෙනහිර සීමාව ආරක්ෂා කරන ධෛර්ය සම්පන්න රටක් බව ද ඔහු පෙන්වා දුන්නේය. දෙදින සංචාරයක් සඳහා පැමිණි ඔහු කිව් ආරක්ෂක සමුළුවට සහභාගී වීමට නියමිත අතර, තම මෑණියන් වන ඩයනා කුමරිය සහයෝගය දැක්වූ “HALO Trust” බෝම්බ ඉවත් කිරීමේ පුණ්‍ය ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇත.














