චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මිං නුවරදී පැවැති “3 වැනි චීන-දකුණු ආසියා රාජ්‍ය-කර්මාන්ත-විශ්වවිද්‍යාල-පර්යේෂණ සම්මන්ත්‍රණය” (3rd China-South Asia Government-Industry-University-Research Seminar) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය. 10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව පැවැති මෙම සම්මන්ත්‍රණය, චීනය සහ දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරිණි.
චීන වාණිජ අමාත්‍යාංශයේ වෙළෙඳ සංවර්ධන කාර්යාංශය සහ යුනාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේතු ඒකාබද්ධව සංවිධානය කළ මෙම අවස්ථාවට චීනය සහ දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික නායකයින් සහ විද්වතුන් ඇතුළු 80කට අධික පිරිසක් එක්ව සිටියහ.
“Pooling Wisdom and Strength for Cooperation, Embracing Openness and Win-Win for the Future” යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණයේදී වෙළෙඳ පහසුකම් සැලසීම සහ වෙළෙඳ සමතුලිතතාව, ඩිජිටල් සම්බන්ධතාව සහ දේශසීමා හරහා සිදුවන විද්‍යුත් වාණිජ සහයෝගීතාව මෙන්ම හරිත හා අඩු කාබන් තාක්ෂණික නවෝත්පාදනය සහ ප්‍රධාන කර්මාන්තවල සහයෝගීතා සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂ ව්‍යාපෘති ප්‍රවර්ධන සැසියේදී ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල නියෝජිතයින්ට තම රටවල ප්‍රමුඛ පෙළේ වෙළෙඳ හා ආයෝජන ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර, සංවාදවලින් ඔබ්බට ගිය ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම මෙහි අරමුණ විය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මෙම සහභාගීත්වය මගින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේ පොදු සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත් ශ්‍රී ලංකාව දක්වන කැපවීම විද්‍යමාන වේ.















