ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post ආයතනය වෙත ගෙවන ලද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම ආයතනයට නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
තැපැල්පතිවරයා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ. අදාළ මුදල අවස්ථා දෙකකදී බැර කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඊමේල් පණිවිඩ හුවමාරු කළ නිලධාරීන්ගේ සහ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ ප්‍රකාශ මේ වන විටත් සටහන් කරගෙන ඇති බව CIDය අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය (CERT) ලවා මේ පිළිබඳ ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
මෙම විමර්ශන පරිගණක අපරාධ පනත, පොදු දේපළ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සිදු කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අනාවරණය වී නොමැත.













