කොළඹ ජාතික රෝහලේ විද්‍යාගාර තුළ කාලය ඉකුත් වූ රීඒජන්ට් (Reagent) භාවිත කරමින් සිදුකළ පරීක්ෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවත්වන පරීක්ෂණ ප්‍රමාද වීම සැක සහිත බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි.
කාලය ඉකුත් වූ රීඒජන්ට් මිලදී ගැනීම සහ කාලය ඉකුත් වීමට ආසන්න රීඒජන්ට් රෝහල් පද්ධතියට ලබා ගැනීම ඇතුළු අක්‍රමිකතා රැසක් විගණන පරීක්ෂණයකදී හෙළි වී දැන් වසරකට ආසන්න කාලයක් ගත වී ඇත. එම විගණන වාර්තාව මගින් රෝහල් පරිපාලකයින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ රසායනික ද්‍රව්‍ය භාර නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව කරුණු අනාවරණය කර තිබුණ ද මෙතෙක් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැත.
වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන්ගෙන් බහුතරයක් වත්මන් රජය යටතේ ද ඉහළ තනතුරු දරමින් සිටින බවයි. පරීක්ෂණ ප්‍රමාද වීමට එය ප්‍රධාන හේතුවක් විය හැකි බවට ඔහු සැක පළ කරයි
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මීට පෙර සිදුවූ දූෂණ සහ වංචාවලට සම්බන්ධ නිලධාරීන් තවමත් තනතුරුවල රැඳී සිටීම පිළිබඳව අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති නමුත් ඒ පිළිබඳව මෙතෙක් නිසි ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














