එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ (The Banker) සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ 2026 සංස්කරණයේදී ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත් වරක් තහවුරු වී තිබේ.
මූල්‍ය ශක්තිමත්භාවය මැන බැලෙන ප්‍රධාන නිර්ණායකයක් වන පළමු පෙළ (Tier I) ප්‍රාග්ධනයෙහි සියයට 12.1 ක වර්ධනයක් වාර්තා කරමින් බැංකුව මෙම විශිෂ්ටත්වය අත්කර ගෙන ඇත. ගෝලීය බැංකු 1000 ලැයිස්තුවට කොමර්ෂල් බැංකුව ඇතුළත් වූ 14 වැනි අවස්ථාව මෙය වන අතර, එය ශ්‍රී ලාංකික මූල්‍ය ආයතනයක් විසින් ලබාගත් වැඩිම ඇතුළත් වීම් සංඛ්‍යාව මෙන්ම මෙම ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව ලෙසද නව ඉතිහාසයක් සනිටුහන් කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සඳහන් කර ඇත්තේ, මෙය තම ශක්තිමත් ප්‍රාග්ධන කළමනාකරණය, වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහ ගනුදෙනුකරුවන් තැබූ විශ්වාසය තහවුරු කරන කඩඉමක් බවයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත එකම ශ්‍රී ලාංකික බැංකුව වන කොමර්ෂල් බැංකුව, දිවයින පුරා ශාඛා 270 කට අධික ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය සහ ඩුබායි වැනි රටවලද සිය ජාත්‍යන්තර මෙහෙයුම් පුළුල් කර ඇත.
















