මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ජූලි 13 වනදා වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951 කි. පෙරදින වාර්තා වූ රෝගීන් 68,672 ට සාපේක්ෂව නවතම දත්ත අනුව තවත් රෝගීන් 1,279 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. මේ අතර මේ වසරේ සිදුවූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇත.
වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 36,795 කි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් (14,464) වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,004 ක් වාර්තා වී තිබේ. ජූලි මාසයේ ගතවූ පළමු දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 14,572 ක් වාර්තා වී ඇති අතර, මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදීය. එම සංඛ්‍යාව 21,538 කි.















