දඹුල්ල – හබරණ ප්රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්රදේශයේදී අද (18) අලුයම බස් රථයක් සහ මෝටර් රථ දෙකක් ගැටීමෙන් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ 38 හැවිරිදි දෙදරු පියෙකු වන ජානක විජේසිංහ මහතාය.
ත්රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්රතිවිරුද්ධ මංතීරුවට ධාවනය වීමෙන් විදුහල්පතිවරයා ධාවනය කළ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් පසුව බස් රථය මාර්ගයේ නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටී අවන්හලකටද කඩා වැදී තිබේ. බරපතළ තුවාල ලැබූ විදුහල්පතිවරයා මෝටර් රථය තුළ සිරවී සිට ඇති අතර, ප්රදේශවාසීන්ගේ දැඩි උත්සාහයකින් පසු ඔහු ඉන් පිටතට ගෙන තිබේ.
දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය. බස් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අනතුරින් තුවාල ලබා තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














