ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට සහ දේශීය ගනුදෙනුකරුවන්ට තමන්ට හුරුපුරුදු භාෂාවකින් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට පහසුකම් සලසමින්, දිවයිනේ ප්‍රථම වරට භාෂා අටකින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය බැංකු යන්ත්‍ර (ATM සහ CRM) සේවාවක් හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මෙම නව සේවාව යටතේ දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ මෙන්ම හිරිකැටිය, ඇල්ල සහ අරුගම්බේ පිහිටි බැංකු පරිශ්‍රයන්හිදී මෙම යන්ත්‍ර සක්‍රිය කර ඇත.
නව සේවාව හරහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ, චීන, රුසියානු, හින්දි සහ ජර්මන් යන භාෂා අටෙන්ම ගනුදෙනුකරුවන්ට සේවා ලබාගත හැකි අතර, බැංකුවේ දිවයින පුරා පිහිටි ශාඛා ජාලය වෙතද මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට නියමිතය. මෙමගින් එදිනෙදා මූල්‍ය කටයුතුවලදී මතුවන භාෂාමය බාධා මුළුමනින්ම ඉවත් වන අතර, විදේශිකයින්ට නොදන්නා භාෂාවලින් ඇති උපදෙස් තේරුම් ගැනීමට වෙහෙස නොවී පහසුවෙන් මුදල් ලබාගැනීමට අවස්ථාව සැලසේ. DFCC බැංකුවේ ATM යන්ත්‍ර මගින් මුදල් ආපසු ලබාගැනීමටත්, CRM යන්ත්‍ර මගින් මුදල් තැන්පත් කිරීමට හා ආපසු ලබාගැනීමටත් පහසුකම් සපයා ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තයන්ට අනුව 2025 වසරේදී සංචාරකයින් මිලියන 2.36ක් සහ 2026 වසරේ මුල් මාස හය තුළදී සංචාරකයින් මිලියන 1.15ක් පැමිණ ඇති පසුබිමක, සංචාරක කලාප කේන්ද්‍ර කරගනිමින් මෙවැනි පහසුකම් හඳුන්වා දීම රටේ සංචාරක ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ වර්ධනයට මහෝපකාරී වේ. ගනුදෙනුකරුවා තාක්ෂණයට අනුගත වීම වෙනුවට තාක්ෂණය ගනුදෙනුකරුවාගේ අවශ්‍යතාවට අනුගත වන මෙම ක්‍රමවේදය හරහා ඕනෑම අයෙකුට බාධාවකින් තොරව ස්වාධීනව ගනුදෙනු කිරීමට විශ්වාසනීය පසුබිමක් නිර්මාණය වන බව බැංකුව පෙන්වා දෙයි.














