ශ්රී ලංකාවේ තාක්ෂණික යටිතල පහසුකම් ප්රවර්ධනය කිරීම සහ ව්යවහාරික පර්යේෂණ වේගවත් කිරීම අරමුණු කරගනිමින්, මෙරට ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයෙකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඉන්දියාවේ IITM ප්රවර්තක් ටෙක්නොලොජීස් පදනම සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහභාගීත්වයෙන් අත්සන් තැබුණු මෙම හවුල්කාරිත්වය, දෙරට අතර තාක්ෂණික සහයෝගීතාවයේ නව පිටුවක් පෙරළමින් උසස් අධ්යයන පර්යේෂණ කර්මාන්ත යටිතල පහසුකම් සමඟ සෘජුව යා කිරීම සනිටුහන් කරයි.
මෙම ඓතිහාසික සන්ධානය හරහා සිංහල සහ දෙමළ සංවාදාත්මක කෘතිම බුද්ධි (AI) පද්ධති සංවර්ධනය කිරීම, තාක්ෂණය පදනම් කරගත් ඩෙංගු මර්දන වැඩපිළිවෙළවල් සහ දේශීය වශයෙන් උග්ර වී ඇති අලි-මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුම් සෙවීම වැනි ජාතික ප්රමුඛතාවන්ට මුල්තැන හිමිවනු ඇත. නවෝත්පාදනය, විශ්වවිද්යාල විද්යාගාර පද්ධති සබලගැන්වීම සහ කර්මාන්ත කුසලතා වර්ධනය ඇතුළු ප්රධාන කුළුණු පහක් යටතේ ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් දේශීය පර්යේෂකයන්ට සහ ව්යවසායකයන්ට ගෝලීය මට්ටමේ තාක්ෂණික දැනුම සහ පරිශීලන පහසුකම් හිමිවන බව ඩයලොග් සහ IITM ප්රවර්තක් ප්රධානීහු පෙන්වා දෙති.
අදියර කිහිපයක් යටතේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව එහි සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට නියමිත අතර, එමඟින් ශ්රී ලංකාව කලාපීය තාක්ෂණික හා නවෝත්පාදන මධ්යස්ථානයක් ලෙස ගොඩනැගීමට මඟපෑදෙනු ඇත. ජාත්යන්තර තාක්ෂණික විශේෂඥතාව දේශීය කුසලතා සමඟ බද්ධ කිරීම හරහා තිරසාර සමාජ-ආර්ථික විසඳුම් නිර්මාණය වීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික තාක්ෂණික හා රාජ්යතාන්ත්රික සබඳතා තවදුරටත් තහවුරු වීමටත් මෙම ක්රියාමාර්ගය ප්රබල පිටිවහලක් වනු ඇතැයි ක්ෂේත්ර විචාරකයෝ විශ්වාස පළ කරති.














