ලොව ප්‍රමුඛතම ඩ්‍රෝන නිෂ්පාදන සමාගමක් වන චීනයේ DJI සමාගම, ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් කන්ද ද අභිබවා යමින් මීටර් 8,861ක වාර්තාගත උසක් කරා සිය නවතම ඩ්‍රෝන යානයක් පියාසර කරවීමට සමත්ව තිබේ. DJI සමාගමේ ප්‍රථම eVTOL (සිරස් අතට ගුවන්ගත විය හැකි සහ ගොඩබෑසිය හැකි) භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝන යානයක් වන DJI EV50 මඟින් මෙම වාර්තාව පිහිටුවා ඇත. උසින් මීටර් 8,848.86ක් වන එවරස්ට් කඳු මුදුනට වඩා මීටර් 12කටත් වඩා ඉහළින් මෙම ඩ්‍රෝන යානය පියාසර කර තිබීම විශේෂත්වයකි.
මෙම පියාසර කිරීම හුදෙක් ප්‍රචාරණ කටයුත්තක් සඳහා පමණක් නොව, චීනයේ පීකින් විශ්වවිද්‍යාලය සහ චීන විද්‍යා ඇකඩමිය එක්ව සංවිධානය කළ “Peak Mission” නමැති එවරස්ට් විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායමට සහය වීම සඳහා සිදු කළ ව්‍යාපෘතියකි. මීටර් 8,861ක් ඉහළ අහසේදී වාතයේ ඝනත්වය මුහුදු මට්ටමට වඩා 39%ක් දක්වා අඩු වන අතර, එවිට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 20ක් ලෙස දැක්වේ. මෙම අධික සීතල සහ දැඩි සුළං සහිත අසීරු දේශගුණයට ඔරොත්තු දීම සඳහා DJI ඉංජිනේරුවන් විසින් මෙම යානයට ස්වයංක්‍රීයව රත් වන බැටරි පද්ධතියක් (self-heating battery) ඇතුළු සුවිශේෂී තාක්ෂණයන් යොදාගෙන තිබේ.
















