එල් නිනෝ (El Nino) තත්ත්වය සමඟ මතුව ඇති උණුසුම් හා වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර මෙන්ම ගොවිබිම්ද දැඩි බලපෑමට ලක්වෙමින් පවතින බව වාර්තා වේ. ඇතැම් ප්‍රදේශවල වැව් පවා මේ වන විට සිඳී යමින් පවතින අතර, මෙම තත්ත්වය වසරක පමණ කාලයක් බලපැවැත්විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාවේදී ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 81%ක සම්භාවිතාවක් පවතින බවයි. මේ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි අවම උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින අතර, දත්ත අනුව ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇත.
මෙම වියළි කාලගුණය විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලටද දැඩි ලෙස බලපා ඇති අතර, ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස එහි සක්‍රිය ජල ධාරිතාව 35.14%ක් දක්වා පහළ බැස තිබේ. ගතවූ පැය 24 තුළ එම ප්‍රදේශයට කිසිදු වර්ෂාපතනයක් ලැබී නැත.
එමෙන්ම, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ, අග්බෝපුර සහ වාන්ඇල යන ප්‍රදේශවල වැව් රැසක් සිඳී යාම නිසා එම වැව්වලින් පෝෂණය වූ කුඹුරු වගා අත්හැර දැමීමට ගොවීන්ට සිදුව තිබේ. අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ ගස්ලබු, වම්බටු සහ මිරිස් ඇතුළු බෝග වගාවන්ද ජලය නොමැතිව වියළී විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.














