පසුගියදා මෙරටට දැඩි බලපෑම් එල්ල කළ දිට්වා සුළි කුණාටුවේ රුදුරු ගොදුරු බවට පත්වෙමින් තම වගාබිම් මුළුමනින්ම විනාශ වී අසරණ වූ අනුරාධපුරයේ කුඩා පරිමාණ වී ගොවීන්ට යළි හිස එසවීමට නව බලාපොරොත්තුවක් ලැබී තිබේ. ඉදිරි යල කන්නයේදී සිය වගා කටයුතු නියමිත වේලාවට ආරම්භ කර ගැනීමට නොහැකිව මංමුලා වී සිටි දහස් සංඛ්‍යාත ගොවි ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මැදිහත් වී ඇත්තේ, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන සුවිශේෂී ඩිජිටල් සහනාධාර වැඩසටහනක් ද සමඟිනි. ඇමෙරිකානු ඩොලර් 300,000ක අතිවිශාල මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කරමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා, සුළි කුණාටුවෙන් බැටකෑ 3,489 දෙනෙකුගෙන් යුත් ගොවි ප්‍රජාවකට සිය ජීවනෝපාය යථා තත්ත්වයට පත් කර ගැනීමට දැන් මාවත විවෘත වී ඇත.
මෙම සහන වැඩසටහන යටතේ අනුරාධපුරයේ පීඩාවට පත් ගොවීන් සඳහා විද්‍යුත් වවුචර (e-vouchers) ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, ඉන් කාන්තා ගොවීන් 1,686 දෙනෙකුට සෘජු ප්‍රතිලාභ හිමිවීම සුවිශේෂී වේ. අක්කර 0.5ක් දක්වා වගා කරන ගොවීන්ට රුපියල් 23,625ක් (ඩොලර් 75) සහ අක්කර 0.5 සිට අක්කර 1ක් දක්වා වගා කරන ගොවීන්ට රුපියල් 28,350ක් (ඩොලර් 90) බැගින් වටිනාකම ඇති වවුචර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දෙනු ඇත. මෙම වවුචර භාවිත කර යූරියා, TSP සහ MOP යන අත්‍යවශ්‍ය පොහොර වර්ග මිල දී ගත හැකි අතර, ශ්‍රී ලංකාව තුළ මෙවැනි මාර්ගගත ඩිජිටල් පොහොර වවුචර වැඩසටහනක් FAO සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
කාලෝචිත ලෙස ලැබෙන මෙම සහාය හුදෙක් පොහොරවලට පමණක් සීමා නොවන අතර, සෑම ගොවියෙකුටම වී වගාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) පිළිබඳ තාක්ෂණික අත්පොතක් ද නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග සහ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරුන් අවධාරණය කරන්නේ, මෙමගින් ගොවීන්ගේ නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමටත් ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් හැකි වන බවයි. ස්වභාවික විපතකින් ඇද වැටුණු අනුරාධපුරයේ ගොවි ජනතාවට, මෙම නවීන තාක්ෂණික සහාය සහ කෘෂිකාර්මික ප්‍රතිසාධන වැඩසටහන යළිත් සශ්‍රීක අස්වැන්නක් කරා යන ගමනේ ශක්තිමත් පවුරක් වනු නොඅනුමානය.












