එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳව පවතින ගැටලු සහ අවිනිශ්චිතතාවන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) මහලේකම් මැටියස් ග්‍රාෆ්ස්ට්‍රෝම් (Mattias Grafstrom) මහතා අද (16) සෙනසුරාදා ඉස්තාන්බුල් නුවරදී ඉරාන පාපන්දු සම්මේලනයේ (FFIRI) නිලධාරීන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. මෙහිදී ලෝක කුසලාන තරගාවලියට ඉරානයේ සහභාගීත්වය සම්බන්ධයෙන් පවතින ඇතුළුවීමේ වීසා ගැටලු පිළිබඳව ෆිෆා සංවිධානයේ පාර්ශවයෙන් ඉරානය වෙත විශේෂ සහතිකයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
ලෝක කුසලාන තරගාවලියේ ඉරානය සහභාගී වන මූලික වටයේ තරග තුනම ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද, පසුගිය පෙබරවාරි අගභාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ඉරාන කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු විය.
මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වූයේ ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි ටාජ් (Mehdi Taj) මහතාට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ පවතින සබඳතා හේතුවෙන්, මේ මස මුලදී වැන්කුවර් නුවර පැවැති ෆිෆා කොංග්‍රසයට සහභාගී වීම සඳහා කැනඩාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරන ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකම මෙම ආරක්ෂක බලකාය (IRGC) “ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස වර්ගීකරණය කර ඇති අතර, ඊට සම්බන්ධතා පවතින කිසිදු පුද්ගලයෙකු තම රටවලට ඇතුළත් කර නොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි (Kazem Gharibabadi) මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ, තරගාවලියට සුදුසුකම් ලැබූ සියලුම කණ්ඩායම්වලට සහ ඔවුන්ගේ නිලධාරී මඩුල්ලට කිසිදු වෙනස්කමකින් තොරව සත්කාරක රටවල් වෙත ඇතුළුවීමට පහසුකම් සැලසීම ෆිෆා සංවිධානයේ වගකීමක් වන බවයි.















