2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්‌තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වූ වාර්‌තාකරණ ආයතනවලින් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000) සමස්ත වටිනාකමකින් යුත් පරිපාලනමය දණ්ඩන මුදල් ශ්‍ර්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් අයකරගෙන තිබේ. මෙම දණ්ඩන මුදල් අයකර ගැනීම සිදුවූයේ 2025 වර්‌ෂයේ ඔක්තෝබර් මස සිට 2026 වර්‌ෂයේ මාර්‌තු මස දක්වා වූ කාලපරිච්ජේදය තුළදීය.
අදාළ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව මෙම දණ්ඩන පැනවීම සිදුකර ඇති අතර, අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගනිමින් නියාමන ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇත. එලෙස දණ්ඩන මඟින් අයකරගත් මුදල් සියල්ල නීත්‍යනුකූලව ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍ර්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් අදාළ වාර්‌තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා අඛණ්ඩව නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි. පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු නොකරන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්‌ග ගැනීම සහ දණ්ඩන පැනවීම මගින් මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
















