අගවිනිසුරුතුමාට සේවා දිගුවක් ලබාදීම ඉලක්ක කරගනිමින් ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වන උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.මෙම ව්‍යවස්ථා සංශෝධනයේ යටි අරමුණ වන්නේ දෙසැම්බර් මස 1 වැනි දින විශ්‍රාම ලැබීමට නියමිත අගවිනිසුරුතුමා තවත් වසර දෙකක් එම ධුරයේ තබා ගැනීම බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා, එය සේවා දිගුවක් ලබාදීමේ කූට අරමුණින් තොරව ගෙන එන්නක් නම්, අදාළ සංශෝධනය දෙසැම්බර් 1 වැනි දිනට පසු ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවට අභියෝග කළේය. එසේම, තමන්ගේ නඩුවේ තමන්ම විනිසුරු විය නොහැකි යැයි යන විශ්වීය නීති මූලධර්මය යටතේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභීන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අදාළ නීතිමය තත්ත්වය විමර්ශනය කිරීමට නොහැකි බැවින්, අවසාන අධිකරණය වන ජනතා අධිකරණය හමුවේ ජනමත විචාරණයකට එය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.මීට අමතරව, නීතිඥ සංගමය සභාපතිවරයාට විපක්ෂයෙන් තනතුරක් පොරොන්දු වී ඇතැයි මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ගම්මන්පිල මහතා, නීතිඥ සංගමය යනු ඉතිහාසය පුරාම අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි සංවිධානයක් බව සිහිපත් කළේය. ජූලි 29 වැනි දින පැවැත්වෙන නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමට පක්ෂ භේදයකින් තොරව සහභාගී වන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ටද ඔහු මෙහිදී ආරාධනා කර සිටියේය.














