ගම්පොළ නගර සභාව මඟින් තම ප්‍රදේශයේ ඩෙංගු බෝවීම ඇතුළු පවතින ගැටලුවලට විසඳුම් නොදී පළිගැනීම් සිදුකරනවා යැයි පවසා ගම්පොළ කීරපන ගම්වාසීහු නගර සභාවට එරෙහිව පසුගිය 26 වැනි දා සවස කීරපණ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් කළහ.කසළ ඉවත් නොකිරීමෙන් හා කාණු පද්ධති පිරිසිදු නොකිරීමෙන් ඩෙංගු පැතිරී එය අධි වසංගත තත්ත්වයක් දක්වා ගමන් කරන බවට චෝදනා කළ විරෝධතාකරුවෝ, වහා රජය මැදිහත් වී හෝ තම ජීවිත බේරා ගන්නා ලෙස ඉල්ලා සිටියහ. නගර සභාව සතු ගම මැදින් ගමන් ගන්නා විකල්ප මාර්ගය කැළෑවීමට ඉඩ හැර කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකරන බවටත්, අඩි අටක් ලෙස ගැසට් කර ඇති මෙම මාර්ගය දෙපස ඉඩම්කරුවන් පාර අල්ලාගෙන ඉදිකිරීම් හා වැටවල් ගැසීමෙන් අඩි හතරටත් වඩා අඩුවී ඇති බවටත් ඔවුහු චෝදනා කළහ. මේ පිළිබඳව නගර සභාව ක්‍රියා නොකිරීම නිසා ආයතන විශාල සංඛ්‍යාවකට ලිපි යැව්වත් විසඳුමක් ලැබී නැති බවත්, ජනාධිපතිවරයා හෝ මැදිහත් වී මීට විසඳුම් ලබා දිය යුතු බවත් ගම්වාසීහු කියති.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගර සභාව වෙනුවෙන් කීරපන කොට්ඨාසය නියෝජන කළ නන්දන කරුණාරත්න මහතා පැවසුවේ, මෙම කීරපන ඇළ සකස් කිරීමට එවකට සිටි රාජ්‍ය අමාත්‍යවරයකු වූ අනුරාධ ජයරත්න මහතා විසින් රුපියල් ලක්ෂ හැටක් ලබා දුන්නද, එයට අවශ්‍ය අනුකූලතා සහතිකය නොලැබුණු නිසා එය ඉටුකිරීමට නොහැකි වූ බවයි.














