රජයේ නිල ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ වෙබ් අඩවිය අනුකරණය කරමින් සකස් කළ ව්‍යාජ වෙබ් අඩවි සහ කෙටි පණිවිඩ (SMS) මඟින් මහජනතාවගේ මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. රථවාහන වැරදි සඳහා පොලිසිය විසින් නිකුත් කරනු ලබන ක්ෂණික දඩ මුදල් ඇතුළු රජයේ විවිධ සේවාවන් සඳහා මාර්ගගතව (Online) ගෙවීම් කිරීමට භාවිත කරන GovPay වෙබ් අඩවියට බෙහෙවින් සමාන ව්‍යාජ වෙබ් අඩවි මේ සඳහා නිර්මාණය කර ඇති බව පොලිසිය පවසයි.
මීට අමතරව, වේග සීමා උල්ලංඝනය කිරීම් හෝ වෙනත් රථවාහන වැරදි සිදු කර ඇති බව පවසමින් ශ්‍රී ලංකා පොලිසියේ නමින් ව්‍යාජ කෙටි පණිවිඩ යවා, ඒවායේ අඩංගු සැකකටයුතු වෙබ් සබැඳි (Links) ඔස්සේ මුදල් ගෙවන ලෙස දන්වමින් රියදුරන් නොමඟ යැවීමේ ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇත. පොලිසිය අවධාරණය කරන්නේ රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම වරදකරු දැනුවත් කිරීමෙන් පසුව පමණක් දඩ පත්‍රිකා නිකුත් කරන බවත්, එසේ නොමැති නම් අදාළ නීතිමය පියවර ගන්නා බවත්ය. කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනා ගත්තද, කිසිදු විටෙක බැංකු ගිණුම් තොරතුරු ඉල්ලමින් හෝ නිල නොවන සබැඳි ඔස්සේ දඩ මුදල් ගෙවන ලෙස පවසමින් දුරකථන කෙටි පණිවිඩ නොයවන බව ද පොලිසිය පැහැදිලි කරයි.
මෙවැනි සැකකටයුතු සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් හෝ නිල නොවන වෙබ් අඩවි හරහා මුදල් ගෙවීම් සිදු කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. යම් හෙයකින් මෙවැනි වංචාවකට හසුවී ඇත්නම් හෝ එවැනි ව්‍යාජ පණිවිඩ ලැබෙන්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස ද දන්වා සිටී.
















