මීගමුව බන්ධනාගාරයේ පුද්ගලයන් 32 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වයේ සත්‍ය තොරතුරු රජය විසින් වසන් කරන බවට එල්ල වන චෝදනා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතික්ෂේප කරයි. අමාත්‍යවරයා පවසන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන් සහ විශේෂ කාර්ය බළකායේ (STF) සාමාජිකයන් ඇතුළු 200කට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ. ගැටුමේදී හානියට පත් වූ සීසීටීවී (CCTV) පද්ධතිවල දර්ශන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ යළි ලබා ගැනීමට කටයුතු කරන අතර, කලහකාරී අවස්ථාවේදී භාවිත කළ සියලුම ගිනි අවි ද මේ වන විට සොයාගෙන ඇත.
පසුගිය රාත්‍රියේ මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතික රැඳවියෙකු ඇතුළු තිදෙනෙකු හැර සෙසු සියලුම බිහිසුණු ප්‍රහාරවලින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ නිම කර තිබේ. හිසට එල්ල වූ කුරිරු ප්‍රහාර හේතුවෙන් නිලධාරීන් කිහිපදෙනෙකුම මියගොස් ඇති අතර, මෙම මරණවලට වගකිව යුතු සියලුම පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
රජයේ දැඩි මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව 2024 සිට මේ දක්වා 14,000කින් පමණ ඉහළ ගොස් ඇත. පවතින තදබදය අවම කිරීම සඳහා පල්ලේකැලේ, පල්ලන්සේන සහ මහර බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කර ඇති අතර, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකරමින් පවතී. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ද ස්ථාපනය කර ඇති අතර ඉදිරි වසර කිහිපය ඇතුළත තවත් බන්ධනාගාර සංවර්ධන ව්‍යාපෘති රැසක් නිම කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















