මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු ගැටුම බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව ඇති වූවක් නොව, එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි දෙකක් අතර ඇති වූවක් බවත්, එය බන්ධනාගාරයේ ආරක්ෂක පද්ධතිය අඩපණ කිරීමේ අරමුණින් සිදු වූ සැලසුම් සහගත ක්‍රියාවක් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම ගැටුම පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ තිබූ මිලියන ගණනක් වටිනා සී.සී.ටී.වී කැමරා පද්ධතිය සහ නවීන ශරීර ස්කෑනර් යන්ත්‍ර සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි. මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන ඒම වැළැක්වීමට ඇති එම තාක්ෂණික බාධාවන් ඉවත් කර ගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබේ.
මෙම ඛේදවාචකයට මූලික වූ බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා පසුගිය පාලකයින් වෙත දැඩි චෝදනා එල්ල කළේය.
රැඳවියන් 10,000ක් සඳහා පමණක් ඉඩ පහසුකම් ඇති බන්ධනාගාර පද්ධතිය තුළ 29,000ක් රඳවා තැබීමට තරම් පසුගිය පාලකයින් අදූරදර්ශී වීම
2022 වසරේදී මත්ද්‍රව්‍ය පනතට ගෙන ආ සංශෝධන හේතුවෙන් ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය වසර එකහමාරක් පමණ ප්‍රමාද වීම
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ බන්ධනාගාර සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම
පළපුරුදු නිලධාරීන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම නිසා ගැටුම් සමථයකට පත් කිරීමට අවශ්‍ය පරිණත නිලධාරීන්ගේ හිඟයක් ඇති වීම
මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා ඇත. තත්ත්වය පාලනය කිරීමෙන් පසු ගැටුමට සම්බන්ධ වූ රැඳවියන් 734 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, සී.අයි.ඩී විමර්ශන සහ බන්ධනාගාර අභ්‍යන්තර විමර්ශන ක්‍රියාත්මක වේ. මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා මත්ද්‍රව්‍ය නඩු කඩිනම් කිරීමට දළ බර පදනම් කරගත් නව නීති සහ නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















