රජයේ වියදම් පාලනය කිරීමේ අරමුණින් මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා පනවා තිබූ ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නව චක්‍රලේඛයට අනුව, මෙම තීරණය ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ පාර්ශ්වයන්ට වර්තමානයේ පවතින වෙළෙඳපොළ මිල ගණන් යටතේ ඉන්ධන දීමනා ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
මැදපෙරදිග කලාපයේ පැවති යුදමය වාතාවරණය හමුවේ රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා පසුගිය අප්‍රේල් 02 වනදා සිට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ඉන්ධන දීමනාව මාර්තු මස 01 වන දින පැවති මිල ගණන්වලට සීමා කර තිබුණි. මෙම නව චක්‍රලේඛය හරහා එම සීමාවන් සම්පූර්ණයෙන්ම අහෝසි කර තිබේ.
















