දෙස් විදෙස් සංචාරකයන් දිනපතා බහුලව ගමන් කරන අතිශය කාර්යබහුල හැටන් – නුවරඑළිය (A7) ප්‍රධාන මාර්ගය අද්දරට, ඉතා සූක්ෂම ලෙස වාහනවලින් කසළ රැගෙන විත් පරිසරයට මුදාහැරීමේ ජාවාරමක් පිළිබඳව හැටන්, කුඩාගම ප්‍රදේශවාසීන් විසින් තොරතුරු අනාවරණය කර තිබේ.
දිවා සහ රාත්‍රී කාලවලදී වෑන් රථ සහ ත්‍රීරෝද රථවලින් පැමිණෙන පිරිස්, මෙම මාර්ගය අසල විවේක ගැනීමට වාහන නතර කරන මුවාවෙන් සිය නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය බැහැර කර යන බව ප්‍රදේශවාසීහු පවසති. ලෝක ජගත් පරිසර දිනය යෙදී තිබූ ඊයේ (ජූනි 05 වැනිදා) දහවල් කාලයේදී ද වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු, කුඩාගම බස් නැවතුම්පොළ අසල සිය කසළ බෑගය දමා යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත (CCTV) කැමරාවක ඉතා පැහැදිලිව සටහන් වී තිබුණි.
සුන්දර මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතියට සහ සංචාරක කර්මාන්තයට දැඩි තර්ජනයක් එල්ල කරමින්, මෙලෙස වගකීම් විරහිතව පොදු ස්ථානවලට කැළි කසළ බැහැර කරන පුද්ගලයන් සොයා බලා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා ලෙස කුඩාගම ප්‍රදේශවාසීන් හැටන් පොලිසියෙන් සහ අදාළ පළාත් පාලන බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
















