හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී අඩි 100ක ප්‍රපාතයකට පෙරළුණු ලොරි රථයේ රියදුරා අනතුර සිදුවන අවස්ථාවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර සිටි බව වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ. ලිඳුල පොලීසිය පවසන පරිදි, රියදුරා සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ද නොතිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුගිය 25 වැනිදා පස්වරු 3:30ට පමණ වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය, ග්ලාස්‌ගෝ වතුයාය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී තිබුණි. තිරිංග පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරිය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ඇති බව මූලිකව වාර්තා විය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ රියදුරා සහ රිය සහයකයා මුලින් ලිඳුල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. රියදුරාගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














