මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණය සහ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා ඇති වීම හේතුවෙන් හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම දැඩි ලෙස පහත වැටී ඇති බව එම ඩිපෝවේ කළමනාකරු පාලිත විරසූරිය පවසයි.
සාමාන්‍ය දිනවල රුපියල් ලක්ෂ 33ක් ලෙස සටහන් වූ හැටන් ඩිපෝවේ දෛනික ආදායම, මේ වන විට රුපියල් ලක්ෂ 10ත් 12ත් අතර අගයකට පහත වැටී තිබේ.
සාමාන්‍ය දිනවල දුර සහ කෙටි දුර බස් රථ 75ක් ධාවනයට එක් කරන අතර, එමඟින් මගීන් 18,000ත් 26,000ත් අතර ප්‍රමාණයක් ගමන් කරනු ලබයි. පවතින දැඩි වර්ෂාවත් සමඟ ගත වූ තෙදින තුළ දිනකට ගමන් කර ඇත්තේ මගීන් 9,218ත් 10,000ත් අතර ඉතා අඩු ප්‍රමාණයකි. අයහපත් කාලගුණයත් සමඟ පාසල්වලට නිවාඩු ලබා දීම සහ මගීන් නිවෙස්වලින් බැහැර නොවීම මෙම මගී සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතු වී තිබේ.
කෙසේ වෙතත්, ඩිපෝවේ සේවය කරන සේවකයින් 328 දෙනෙකුගේ මේ මස වැටුප ගෙවීම සඳහා අවශ්‍ය කරන රුපියල් ලක්ෂ 138ක පමණ මුදල මේ වන විට උපයාගෙන ඇති බව ඩිපෝ කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.














