ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් ආසියානු මුදල් ඒකකවල අගය පහත වැටීම හේතුවෙන් ඉන්දීය රුපියල අද දිනයේ තවදුරටත් දුර්වල වනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ පුරෝකථනය කරති. ඒ අනුව රුපියල ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව 94.25 ත් 94.30 ත් අතර අගයකින් විවෘත වනු ඇතැයි අපේක්ෂා කරන අතර මීට දින දහයකට පෙර 92.70 මට්ටමේ පැවති රුපියලේ අගය මේ වන විට ක්‍රමයෙන් පහත වැටෙමින් පවතී. ඉන්දීය මහ බැංකුව යම් මට්ටමකට මැදිහත් වුවද රුපියල ස්ථාවරව පවත්වා ගැනීම අභියෝගයක් වී ඇත්තේ ඉරානය සහ ඇමරිකාව අතර ඇති වූ යුදමය වාතාවරණය නිසා තෙල් ප්‍රවාහනය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති වීමෙන් බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 109.40 දක්වා ඉහළ ගොස් ඇති බැවිනි.
ඉන්දියාවේ තෙල් පිරිපහදු ආයතන විසින් තෙල් මිලදී ගැනීම සඳහා විශාල වශයෙන් ඩොලර් ඉල්ලා සිටීම රුපියල දුර්වල වීමට සෘජුව බලපා ඇති අතර ඉන්දියාවට අමතරව අනෙකුත් ආසියානු රටවල මුදල් ඒකක ද දුර්වල වීමත් සමඟ ගෝලීය වශයෙන් ඩොලරයේ අගය ඉහළ යමින් පවතී. දේශීය වෙළඳපොළේ මිල මට්ටම් පාලනය කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට රුපියලේ අගය මෙලෙස පහත වැටීම ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති. ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ඉන්දීය රුපියල මුහුණ දෙන මෙම තත්ත්වය සමස්ත කලාපීය ආර්ථිකයටම බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.














