ඉන්දීය රුපියල ස්ථාවර කරමින් රට තුළට විදේශීය ඩොලර් ආකර්ෂණය කර ගැනීම සඳහා එරට මහ බැංකුව (Reserve Bank of India – RBI) විසින් දියත් කරන ලද සුවිශේෂී මූල්‍ය උපායමාර්ගය හේතුවෙන් ඉන්දියානු මූල්‍ය වෙළඳපොළේ පොලී පිරිවැය ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එරට දේශීය සමාගම් ඩොලර් බිලියන 3කට අධික ණය අරමුදල් රැස්කිරීමේ මහා පරිමාණ මෙහෙයුමක නිරත වෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
විදේශයන්හි වෙසෙන ඉන්දියානු ජාතිකයින් ඉලක්ක කර ගනිමින් RBI විසින් හඳුන්වා දුන් FCNR(B) ස්ථාවර තැන්පතු සඳහා වන සම්පූර්ණ මුදල් ආවරණ පිරිවැය (Hedging Cost) මහ බැංකුව විසින්ම දැරීමට තීරණය කර ඇත. 2026 සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක මෙම ක්‍රමවේදය යටතේ තැන්පතුකරුවන්ට සියයට 2ක ඉහළ පොලී අනුපාත ලබා දීමට දේශීය වාණිජ බැංකුවලට අවස්ථාව ලැබී ඇති අතර, ස්ටේට් බැංකුව (SBI) වැනි ප්‍රමුඛ බැංකු සියයට 6ක පමණ උපරිම පොලී අනුපාතයන් හඳුන්වා දී තිබේ. මීට අමතරව, මෙම තැන්පතු ඇපයට තබා 7 සිට 10 ගුණය දක්වා ‘උත්තෝලන’ (Leverage) පහසුකම් ද ලබා දී ඇති බැවින්, විදේශගත ඉන්දියානුවන්ට වසරකට සියයට 17 සිට 27 දක්වා වූ ඉහළ ප්‍රතිලාභයක් උපයා ගැනීමට මඟ පෑදී ඇත.
මහ බැංකුවේ මෙම පියවර නිසා වෙළඳපොළ ද්‍රවශීලතාවය ඉහළ යාමත් සමඟ, ආයතනික ණය ගැනීමේ පිරිවැය සහ බැඳුම්කර පොලී අනුපාතයන් කැපී පෙනෙන මට්ටමකින් පහත වැටී තිබේ. මේ අනුව, බැංකු නොවන මූල්‍ය සමාගම්වල පූර්ණ දායකත්වයෙන් යුත් ඉන්දියානු ආයතන, මේ සතිය තුළ පමණක් වසර පහක් දක්වා වූ බැඳුම්කර නිකුත් කරමින් ඉන්දියානු රුපියල් බිලියන 310කට (අමෙරිකානු ඩොලර් බිලියන 3.24කට) වඩා වැඩි මුදලක් සාර්ථකව රැස් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම NABARD සහ REC වැනි රාජ්‍ය මූල්‍ය ආයතන මෙන්ම Bajaj Finance, Muthoot Finance වැනි ප්‍රමුඛ පෙළේ ආයතන ද මේ වන විට ඩොලර් බිලියන ගණනින් ණය බැඳුම්කර නිකුත් කිරීමට සූදානමින් පසුවෙයි.
















