විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මෙරට ප්‍රධාන නගර 4ක් වන මහනුවර, කොළඹ, අනුරාධපුරය සහ කතරගම සන්නාමකරණය (City Branding) කිරීමට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
මෙම වැඩසටහනට සමගාමීව මහනුවර නගරය සන්නාමකරණය කිරීමේ මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්විණි. ලෝකයේ වෙනත් ජනප්‍රිය නගර මෙන්ම, ශ්‍රී ලංකාවේ මෙම නගරවල ඇති සංස්කෘතිය, ඉතිහාසය, ආහාරපාන, සොබාදහම සහ සංචාරක වටිනාකම් මූලික කරගනිමින් ජාත්‍යන්තර මට්ටමෙන් මෙම නගර සන්නාමගත කිරීම මෙහි මූලික අරමුණ බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
















