27 April 2024
#සංවර්ධන

යාවත්කාලීන තාක්ෂණය මඟින් කාර්මික ප්‍රවර්ධනය කල යුතුයි – කර්මාන්ත ඇමති

රටක ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන කරුණක් වන්නේ යාවත්කාලීන වන තාක්ෂණය සමගින් එරට තුළ සිදුකරනු ලබන කාර්මික ප්‍රවර්ධනය බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ අද (31) පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) අභිනවයෙන් ස්ථාපිත කළ විද්‍යා හා තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය (S & T Business Center) ,ඛනිජ තෙල් හා ලිහිසි තෙල් පරීක්ෂණාගාරය ( Petroleum & Lubricant Testing Laboratory ) සහ ඖෂධ පරීක්ෂණාගාරය ( Pharmaceutical Testing Laboratory ) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, නිදහසෙන් පසු ගෙවුණු වසර හැත්තෑපහක කාලය තුළ කාර්මික කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකොට ඇති රාජ්‍ය ආයෝජනය අනෙක් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඉතා අඩු බවත්, එය රටේ ආර්ථික සංවර්ධනය අඩුවීම කෙරෙහි වඩාත් බලපා ඇති බවත්, මෙම තත්වය කඩිනමින් වෙනස් කිරීමට රජයක් ලෙසින් කටයුතු කරමින් සිටින බවත්, සදහන් කළේය.

එමෙන්ම කාර්මික තාක්ෂණ ආයතනය නවෝත්පාදන කර්මාන්තයන් හදුන්වා දීමටත් , කාර්මික නිෂ්පාදනයන්හි තාක්ෂණික ප්‍රමිතිය පවත්වා ගෙනයාම කෙරෙහිත් දක්වන දායකත්වය පිළිබඳවත්, එම ආයතනය වෙත සිය ස්තුතිය පළ කල අමාත්‍යවරයා අපනයනාභිමුඛ කර්මාන්ත ආර්ථිකයක් වෙනුවෙන් සැවොම රටක් ලෙස එක්ව ක්‍රියාකළ යුතු බවත් සදහන් කළේය.

1955 දී ආරම්භ කොට ඇති කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මේ වනවිට සිය සේවාදායකයා සහ පාර්ශ්වකරුවන් සඳහා වෙළඳපොළ මෙහෙයවන හවුල්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන අතර එය දේශීයව මෙන්ම ජාත්යනන්තරව පිළිගත් බහුවිධ ජාතික ආයතනයකි. පසුගිය වසර කිහිපය තුළ ITI විසින් දේශීය හා අපනයන වෙළෙඳපොළ, ජාතික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සහ විදේශීය කර්මාන්ත සඳහා වයාපාරවල යෙදී සිටින සමාගම්වලට සේවා සපයා ඇති අතර , ITI ආයතනය තාක්ෂණික සේවාවන් ,

රසායනාගාර සේවාවන් මෙන්ම පර්යේෂණ සහ සංවර්ධනයන් කාර්යන්ද සිදුකරනු ලබයි. ඒවා පරිසර තාක්ෂණය (ET) , ආහාර තාක්ෂණය (FT), ශාකසාර තාක්ෂණය (HTD), ද්‍රව්‍ය තාක්ෂණය (MT) සහ ඉංජිනේරු සේවාවන් ආදී ක්ෂේත්‍රයන් මුල්කොට ගෙන සිදු කරයි. එම සේවාවන් අතරට අද දින විවෘත කෙරුණු අංශ සහ පරීක්ෂණාගාරයන්ද රටේ නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමිතිගත කාර්මික සංවර්ධනයට එක්වෙයි.

මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර ඇතුළු නිළධාරින් , වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සම්භාවනීයන් පිරිසක් එක්වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *