27 April 2024
#සංවර්ධන

බුද්ධිමතුන්ගේ පර්යේෂණ විදාතා නිලධාරීන් හරහා ගමට ගෙනයනවා – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

අපේ රටේ බුද්ධිමතුන් විශාල කැපකිරීමක් කොට සිදුකරන පර්යේෂණ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා විදාතා මධ්‍යස්ථාන නිලධාරීන් සමග ගමට ගෙනයන බව වේවැල්, පිත්තල, මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාතය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ කණ්ඩායම විසින් කේයොලින් මැටි ආශ්‍රීතව සිදුකරන ලද පර්යේෂණයකින් පසු එම මැටි භාවිතය රූපලාවන්‍ය බතික් සහ මැටි කර්මාන්තයට තාක්ෂණය යොදාගැනීම පිළිබඳ පර්යේෂණය රාජ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කෙරිණ. ඒ අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාතයාංශය අතර කේයොලින් සුලභ පාංශු සංඝටක භාවිතයෙන් අගය එකතු කරන ලද නව නිපැයුම් නිපදවීම හා වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අද (25) පෙරවරුවේ අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් විජිත බණ්ඩාර මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෙනුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

මැටි ආශ්‍රිත උසස් තාක්ෂණ දැනුම කර්මාන්ත වල ප්‍රවර්ධනය සඳහා ප්‍රමිතිය ගුණාත්මකභාවය වඩා ඉහළ මට්ටමට ලක්කොට වෙළෙඳපොළ අවස්ථා වැඩිදියුණු කිරීම අපේක්ෂා කරමින් ගිවිසුම අත්සන් කෙරිණ.

විදේශ වෙළෙඳපොළ ඉලක්කය ද අමාත්‍යාංශයේ සැලසුම් අතර වෙයි. වේවැල් පිත්තල ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාලවල සහ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ආයතනවල දැනුම සහ පර්යේෂණ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට යොදාගැනීමට ඉදිරිපත් වී සිටී.

එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යවරයාගේ උපදෙස් අනුව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ. කේයොලින් මැටි ආශ්‍රිතව සිදුකරන පර්යේෂණ සහ නව සොයාගැනීම් තාක්ෂණය පැවරීම සඳහා ග්‍රාමීය කර්මාන්තකරුවන් 15 දෙනෙකු කටාන, මහර, කැලණිය, බියගම, මාවනැල්ල යන විදාතා සම්පත් මධ්‍යස්ථාන වලින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලට සම්බන්ධ කර තිබේ.

මෙම අවස්ථාවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යායතන අංශයේ ආචාර්යවරුන්, විදාතා සම්පත් මධ්‍යස්ථාන නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *