ජාත්‍යන්තර පරිවර්තන දිනයට සමගාමීව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් අලුතින් බඳවා ගන්නා ලද පරිවර්තකයන් 17 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි. දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී පත්වීම් ප්‍රදානයට අමතරව, සේවයෙන් විශ්‍රාම ගිය ප්‍රවීණ පරිවර්තකයන් තිදෙනෙකු ඇගයීමට ලක් කිරීම සහ පරිවර්තන තරගය ජයග්‍රහණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට ත්‍යාග හා සහතිකපත් ප්රදානය කිරීමද සිදු විය.
මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රවීණ පරිවර්තක ගාමීණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තන වෘත්තියේ වැදගත්කම පිළිබඳව විශේෂ දේශනයක් පවත්වන ලදී. රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තිලක් නන්දන හෙට්ටිආරච්චි සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ත විජේසිංහ යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















