පසුගිය ජූලි 08 සහ 09 යන දින දෙක තුළ එක්සත් ජනපදය විසින් ඉරානයේ පළාත් 5ක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා සහ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී හොසේන් කෙර්මන්පූර් මහතා අමෙරිකානු සමාජ මාධ්‍ය වේදිකාවක් වන ‘X’ හි සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේ, තුවාල ලැබූවන්ගෙන් 47 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
මෙම ප්‍රහාර මාලාව දියත් කෙරුණේ ඉරානය සහ අමෙරිකාව අතර පැවති සටන් විරාම ගිවිසුම අසාර්ථක වීමත් සමඟ දෙරට අතර උණුසුම්කාරී තත්ත්වය යළි උත්සන්න වීම හේතුවෙනි. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් වාණිජ නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කළ බවට අමෙරිකාව චෝදනා කිරීමත් සමඟ, ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝග මත ඉරානයේ දකුණු වෙරළ තීරයේ පිහිටි ඉලක්ක ඇතුළු ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පියවර ගත්තේය.
අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් බහරේනය සහ කුවේටය වැනි අසල්වැසි අරාබි රටවල පිහිටි අමෙරිකානු හමුදා ස්ථාන ඉලක්ක කරමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















