ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඓතිහාසික සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඉරානය සූදානම් වන බවට ලෝකයට පණිවිඩයක් නිකුත් වෙමින් පවතින පසුබිමක, ටෙහෙරානය ඉතා රහසිගතව යුද්ධයේ මීළඟ අදියර සඳහා දැවැන්ත සූදානමක් ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර බුද්ධි ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය දිනයේදී ටෙහෙරානය වෙත පැමිණි චීන ගුවන් හමුදාවට අයත් ප්‍රවාහන ගුවන් යානා දෙකක් අතිශය රහසිගත ලෙස, සිය ට්‍රාන්ස්පොන්ඩර් පද්ධති විසන්ධි කරමින් ගොඩබස්වා ඇති බව තහවුරු වී තිබේ.
මෙම රහසිගත මෙහෙයුම හරහා චීනය විසින් ඉරානයට අති නවීන රේඩාර් තාක්ෂණය සහ අතිදැවැන්ත ගුවන් ආරක්ෂක පද්ධති තොග වශයෙන් සපයා ඇති බව වාර්තා වේ. ඇමරිකාව තවමත් සාම ගිවිසුමක් පිළිබඳව මනෝරාජික බලාපොරොත්තු තබාගෙන සිටිය ද, ඉරානය මෙලෙස තම ආරක්ෂක වළල්ල ශක්තිමත් කරගැනීමෙන් පැහැදිලි වන්නේ “ක්‍රීඩාව තවම අවසන් නැති” බවයි. මැදපෙරදිග කලාපයේ බලතුලනය උඩුයටිකුරු කරමින් සිදුවන මෙම හදිසි මිලිටරිමය සංක්‍රමණය, ඉරානය සාම ගිවිසුමකට මුවා වී වක්‍ර ලෙස යුද්ධයේ ඊළඟ අදියර සඳහා තම අවි ගබඩාව පුරවා ගැනීමක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වා දෙති.
















