සටන් විරාමයක් පවතින පසුබිමක වුවද දකුණු ලෙබනනය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහන සේවකයින් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකු මියගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායල සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින සටන් විරාම ගිවිසුම දෙපාර්ශවය විසින්ම උල්ලංඝනය කරමින් සිටින බවට එකිනෙකාට චෝදනා කරගන්නා පසුබිමක මෙම ප්‍රහාර එල්ල වී තිබේ.
දකුණු ලෙබනනයේ මජ්ඩාල් සවුන් (Majdal Zoun) නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මුදාගැනීමේ මෙහෙයුමක නිරතව සිටියදී එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටි ලෙබනන සිවිල් ආරක්ෂක බලකායට අයත් වෛද්‍ය සහායකයින් (Paramedics) තිදෙනෙකු ද මියගිය පිරිසට ඇතුළත් වේ.
පසුගිය මාර්තු මස මුල සිට ඊශ්‍රායල හමුදා සහ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන් අතර දකුණු ලෙබනනය කේන්ද්‍ර කරගනිමින් දරුණු ගැටුම් පවතී.
වෙවුලන සුළු සටන් විරාමයක් පවතින නමුත් දකුණු ලෙබනනය තුළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් වාර්තා වෙමින් පවතී.














