එල්.පී.එල්. (LPL) ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට බලපෑම් කර තරග පාවාදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා ජූලි 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
අදාළ සැකකරුවන් විසින් භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ සහ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් හමුවී, තරග හතරක් පාවාදීම සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබාදීමට යෝජනා කර ඇත. මෙම යෝජනාව සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයන් විසින් වහාම ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව, විමර්ශන නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රීඩකයන් සැකකරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
එහිදී රුපියල් ලක්ෂ 95ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇති අතර, එම මුදල කළු පැහැති බෑගයක දමාගෙන කොළඹ ලංකා බැංකු මූලස්ථානය අසලට පැමිණි අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාද පටිගත කිරීම් සහ වීඩියෝ දර්ශන ඇතුළු සාක්ෂි විමර්ශන ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ සිය සේවාදායකයා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකාවට පැමිණි අයෙකු බවත්, ඔහු කිසිදු අල්ලසක් ලබා දීමට උත්සාහ නොකළ බවත්ය. කෙසේ වෙතත්, ඉදිරි විමර්ශන කටයුතු සැලකිල්ලට ගනිමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, නඩුව නැවත ජූලි 31 දින කැඳවීමට නියමිතය.














