කොළඹ කොටස් වෙළෙඳපොළට එක් වූ නවතම සමාගම වන ජනශක්ති ලිමිටඩ් (Janashakthi Limited) හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද පෙරවරුවේදී නිල වශයෙන් ආරම්භ විය. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සම්ප්‍රදායික සීනුව නාද කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ජනශක්ති සමූහයේ නිර්මාතෘ චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ. මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා රුපියල් 10 බැගින් කොටස් මිලියන 500ක් නිකුත් කරමින් රුපියල් බිලියන 5ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට සමාගම සමත් වූ අතර, පවතින අධිදායකත්වය හේතුවෙන් නිකුතුව විවෘත කළ පළමු දිනයේදීම එය වසා දැමීමට කටයුතු කෙරිණි. සැලසුම් කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයක අයදුම්පත් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් ලැබී තිබුණු බව සමාගම පසුව අනාවරණය කළේය.
අද දින කොටස් වෙළෙඳපොළ ප්‍රධාන පුවරුවෙහි ජනශක්ති ලිමිටඩ් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් බිලියන 2.3ක් ලැයිස්තුගත කර ඇති අතර, රුපියල් 10කට නිකුත් කෙරුණු කොටසක් ද්විතීයික වෙළෙඳපොළේදී රුපියල් 13.80ත් රුපියල් 15.50ත් අතර මිල ගණන් යටතේ ගනුදෙනු වන අයුරු දක්නට ලැබුණි. ජනශක්ති ලයිෆ්, ෆස්ට් කැපිටල් සහ ජනශක්ති ෆිනෑන්ස් යන ආයතන ජනශක්ති ලිමිටඩ් හි ප්‍රධානතම අනුබද්ධිත සමාගම් ලෙස ක්‍රියාත්මක වේ.













