ජපානයේ වසර 10ක රාජ්‍ය බැඳුම්කරයේ පොලී අනුපාතය 1990 දශකයේ මැද භාගයෙන් පසු වාර්තා නොවූ අයුරින් සියයට 3ක සීමාව වෙත වේගයෙන් ළඟා වීමත් සමඟ එරට මූල්‍ය හා ආර්ථික ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. මධ්‍යම බැංකුව විසින් දීර්ඝ කාලයක් පුරා අනුගමනය කළ අතිශය ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය මත පදනම් වූ අල්ප පොලී අනුපාත ක්‍රමවේදය මේ වන විට දැඩි වෙනසකට භාජනය වෙමින් පවතින අතර, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය වශයෙන් ඉහළ ගොස් ඇති උද්ධමනකාරී අවදානම් තත්ත්වය මෙම තීරණාත්මක හැරවුමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
පසුගිය දිනවල අඛණ්ඩව ඉහළ ගිය වසර 10ක බැඳුම්කර පොලී අනුපාතය 1996 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කර ඇති අතර, වසර 5ක සහ වසර 2ක බැඳුම්කර පොලී අනුපාත ද පිළිවෙළින් වාර්තාගත හා දශක තුනකට ආසන්න කාලයක ඉහළම මට්ටම් වෙත ළඟා වී තිබේ. ඉදිරි මාසයේදී ජපාන මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ නැංවීමේ පියවරක් අනුගමනය කරනු ඇතැයි පවතින දැඩි අපේක්ෂාවන් හමුවේ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, එය එරට රාජ්‍ය වියදම් සහ ණය කළමනාකරණ යාන්ත්‍රණයට බරපතළ අභියෝගයක් එල්ල කර ඇත.
ජපාන බැඳුම්කරවල ප්‍රතිලාභ ඉහළ යාම හමුවේ දශක ගණනාවක් පුරා අමෙරිකානු සහ යුරෝපීය වෙළෙඳපොළ වෙත ඇදී ගිය ජපාන ප්‍රාග්ධනය යළි මව්බිරට වෙත ගලා ඒමේ හැකියාවක් මතුව තිබීම ගෝලීය ආයෝජන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම මූල්‍ය ස්වභාවිකරණය ජපාන ආර්ථිකයේ යම් ධනාත්මක සන්ධිස්ථානයක් පෙන්නුම් කළද, එය ජාතික ණය බර හා ගෝලීය මූල්‍ය ප්‍රවාහයන් කෙරෙහි කම්පන තරංග ඇති කළ හැකි සංකීර්ණ තත්ත්වයක් බවයි.














