ශ්‍රී ලංකාව වෙනුවෙන් අනාගත හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “Javelin Fiesta” ජාතික දක්ෂතාවලිය හඳුනාගැනීමේ වැඩසටහනේ පළමු අදියර එළඹෙන ජූලි 31 වනදා මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා එක්ව අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
මෙම වැඩසටහනේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ජාත්‍යන්තර හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ පුහුණුවීම් සහ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක මූල්‍ය අනුග්‍රහයක් ද මෙහිදී අමාත්‍යවරයා විසින් පිරිනමන ලදී. පාසල්, ක්‍රීඩා පාසල්, ක්‍රීඩා සමාජ සහ බාහිර ඉල්ලුම්කරුවන් අතුරින් වයස අවුරුදු 16න් පහළ (බාලක/බාලිකා), 18න් පහළ (බාලක/බාලිකා), 20න් පහළ (පිරිමි/ගැහැණු) සහ විවෘත (පිරිමි/ගැහැණු) යන කාණ්ඩ 8ක් යටතේ දක්ෂයන් තේරීම සිදුකිරීමට නියමිතය.
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සහ හෙල්ල විසි කිරීමේ විශේෂිත කුසලතා පරීක්ෂණ ඔස්සේ සෑම කාණ්ඩයකින්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනා බැගින් තෝරාගනිමින් සාමාජිකයන් 64 දෙනෙකුගෙන් යුත් ‘මධ්‍යම පළාත් හෙල්ල විසි කිරීමේ සංචිතය’ (Central Province Javelin Squad) ගොඩනැගීමට සැලසුම් කර ඇත. ජාත්‍යන්තර තරග නියෝජනය කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සඳහා මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














