විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරමින් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (28) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එවැනි කරුණක් සඳහා ජනමත විචාරණයකට යා යුතු බවට කිසිදු සඳහනක් කර නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතියේ පවතින නඩු ගොඩගැසීමේ අර්බුදයට විසඳුම් සෙවීම සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමේ අරමුණින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව මතුවන විවිධ අර්ථකථන හමුවේ රජයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කෙරිණි.














