අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කෑගල්ල, වරකාපොල, මාවනැල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවල නීතිඥ සංගම් නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය හත්වැනිදා කෑගල්ල අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී කෑගල්ල ප්‍රදේශයේ අධිකරණ පද්ධතියේ පවතින අවශ්‍යතා සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. එහිදී කෑගල්ල ප්‍රදේශයට නව අධිකරණ සංකීර්ණයක් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, ඒ සඳහා වන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
නීතිඥවරුන් මුහුණ දෙන ගැටලු සහ අධිකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා නීතිඥ සංගම් නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කර ගත් බව වාර්තා වේ.
















