කලා වැව සහ ඊට අනුබද්ධ රක්ෂිත කලාපයේ සැරිසරන අතිශය ගෞරවනීය මෙන්ම මනහර සිරුරකට හිමිකම් කියන ‘මහා’ නමැති ප්‍රකට ඇත් රජුගේ උදරය ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස විශාල වූ ගෙඩියක් වැනි යමක් මතුව තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ශාක්ෂි සහිත ඡායාරූප හුවමාරු වෙමින් පවතියි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී ලෝලීන්, පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි කම්පනයට සහ කණගාටුවට පත්ව සිටිති.
වනජීවී ඡායාරූප ශිල්පීන් සහ සංචාරකයින් විසින් නිරීක්ෂණය කරන ලද තොරතුරු අනුව, අදාළ ගෙඩිය හේතුවෙන් ඇත් රජු යම් අපහසුතාවයකින් පසුවන බවටද අනුමාන කෙරේ. මෙවැනි අසාමාන්‍ය ඉදිමීමක් හෝ ගෙඩියක් තුවාලයක්, අභ්‍යන්තර ආසාදනයක් හෝ වෙඩි තැබීමක් වැනි මිනිස් ක්‍රියාකාරකමක් නිසා ඇති වූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් හි ක්ෂණික අවධානය සහ ප්‍රතිකාර මෙම සතුන් වෙනුවෙන් කඩිනමින් යොමු විය යුතු බවට පරිසර සංගම් අවධාරණය කරයි.
කලා වැවේ අභිමානය බඳු ‘මහා’ ඇතුගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම උදෙසා අදාළ වනජීවී බලධාරීන් වහාම මැදිහත් වී පරීක්ෂණ පවත්වා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ජනතාව සහ සත්ව ලෝලීන් අදාළ අංශවලින් ඉල්ලා සිටිති.














