මහනුවර නගර සීමාවේ පවතින සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා වන විශේෂ යෝජනාවක් සියලු පක්ෂවල සාමූහික තීරණයක් ලෙස මීළඟ සභාවාරයේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය මහතා පවසයි. නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මහනුවර මහ නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
වසර ගණනාවක් තිස්සේ නීතිවිරෝධී ලෙස අනවසර වෙළෙඳ ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින්, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයකුට මෑතකදී බැණ තර්ජනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් මෙහිදී අනාවරණය විය. මෙම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් විශාල මහජන විරෝධයක් එල්ල වී ඇති අතර, නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජනතාව නගර සභාවෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී නිහාල් රංජිත් මහතා ද සඳහන් කළේ, අදාළ අනවසර ව්‍යාපාරිකයා විසින් මහජන නියෝජිතයාට තර්ජනය කර ඇති බැවින්, පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා එක්ව මේට එරෙහිව කටයුතු කළ යුතු බවයි. මහනුවර නගර මධ්‍යයේ අනවසර ඉදිකිරීමක් සිදුකරන අතරතුර කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ බව ද සිහිපත් කළ මන්ත්‍රීවරයා, මෙම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක නොකළහොත් මහජන නියෝජිතයන්ට ජනතාව අතරට යාමට පවා නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි ද අවධාරණය කළේය.
















