ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක හා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් “ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සහ ආයතනික ජාලකරණ සන්ධ්‍යාව” ඉන්දියාවේ චෙන්නායි නුවරදී සාර්ථකව පවත්වා තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය (SLCB) විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ගනේෂ්නාදන් ගීතිස්වරන් මහතා පෙන්වා දුන්නේ, 2025 වසරේදී ඉන්දීය සංචාරකයන් 531,511ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය මෙරට මුළු සංචාරක පැමිණීමෙන් 22%කට වඩා වැඩි ප්‍රමාණයක් බවයි. එමෙන්ම 2026 වසරේ පළමු මාස පහ තුළ පමණක් ඉන්දීය සංචාරකයන් 221,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාව MICE සංචාරක ක්ෂේත්‍රය (රැස්වීම්, දිරිගැන්වීමේ චාරිකා, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන) මෙන්ම ආයතනික රැස්වීම්, ගමනාන්ත විවාහ උත්සව (Destination weddings) සහ සුවතා පසුබැසීම් (Wellness retreats) සඳහා වඩාත් සුදුසුම ස්ථානයක් ලෙස ඉන්දීය ව්‍යාපාරිකයන් හමුවේ මෙහිදී ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ (SLCB) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයන්, හෝටල් හිමියන් සහ ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගි වූහ.
















