පොලිස් කොස්තාපල්වරයකුට සහ සැරයන්වරයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි කටාන පොලිස් ස්ථානයේ එවකට ස්ථානාධිපති (OIC) ජගත් තේමිය සේනාරත්න මහතා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු කර තිබේ.
2017 වසරේදී සිදුවූ මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති වසර 9ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. විත්තිකරු තමාට එල්ල වී තිබූ චෝදනා තුනකටම වරදකරු බව අධිකරණය හමුවේ තහවුරු විය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම හිටපු ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විත්තිකරුගේ ඇඟිලි සලකුණු අධිකරණයට ලබා දෙන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. විත්තිකරු සඳහා දඬුවම් නියම කිරීම ලබන ජූලි 14 වන දා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර ඇත.
















