දින 15ක් පුරා පැවති රුහුණ කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ (30 වෙනිදා) පස්වරු 09.10ට යෙදුණු සුබ නැකතින් මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්ව ඇත.මහා පෙරහැර ගෙවදීමෙන් අනතුරුව නැවත රාත්‍රී දේවාලයේ පෙරහැර ඇතු පිට ගමන් ගැනීම සිදුකළ අතර, එම පෙරහැරත් දේවාලයට ගෙවදීමෙන් අනතුරුව දිය කැපීමේ චාරිත්‍රය ආරම්භ විය. පෙරහැර බලන රාළ ඇතුළු කපු මණ්ඩලය සහ තේවා මණ්ඩලය විසින් තල් අතුවලින් සකසන ලද විශේෂ මණ්ඩපයක දෙවි හාමුදුරුවෝ තැන්පත් කිරීමෙන් පසු, දිය කැපීමේ පෙරහැර උදෑසන කාලයේ දේවාලයෙන් පිටත්ව වල්ලිඅම්මා තොටුපළින් ගඟට බැස ජීවමාලී තොටුපොළේදී දේව තිරවලින් වටකරන ලද පැලක් වැනි ස්ථානයකදී දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරන ලදී.පසුව දිය කැපූ කපු මහතා වල්ලිඅම්මා දේවාලය තුළ සිට සවස් වරුවේ චාම් පෙරහරකින් මහා දේවාලය කරා එය රැගෙන ගිය අතර, රාත්‍රී සිදුවන වස් ඇරීමේ කටයුත්ත අවසන් වීමත් සමඟ පෙරහැරේ සියලු කටයුතු නිමාවට පත්විය. කතරගම දෙවිඳුන් හා දුටුගැමුණු රජතුමා මුණගැහුණු ස්ථානය ලෙස සැලකෙන ජීවමාලි තොට දක්වා මැණික් ගඟේ ගමන් කරන මෙම පෙරහැර අවස්ථාව සඳහා හින්දු සහ බෞද්ධ බැතිමතුන් දසදහසකට ඉක්ම වූ පිරිසක් එක්ව සිටියහ.














