කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවලදී අවට ප්‍රදේශවලට ගංගා ජලය පිටාර ගලා ඒම සහ ගංවතුර අවදානම අවම කිරීම සඳහා ඉදිකර ඇති අඹතලේ ජල පාලන වේල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
පසුගිය ගංවතුර තත්ත්වය අතරතුර කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගිය අවස්ථාවේදී, මෙම වේල්ලේ එක් ස්ථානයක පස් ස්ථර හරහා ජලය ගලා ඒමේ කාන්දුවීමක් නිරීක්ෂණය විය. වේල්ල සම්පූර්ණයෙන් බිඳී යාමේ අවදානමක් නොතිබුණ ද මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් හටගත් අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දැනුවත් කළ ද ඇතැම් ජනතාව එම ප්‍රදේශවලම රැඳී සිටියහ.
අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එම ස්ථානයට පැමිණ ගැටලුව නිරීක්ෂණය කරමින් ඊට ස්ථිර තාක්ෂණික විසඳුමක් ලබාදෙන බවට ජනතාවට සහතික විය. ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මූලික ඉංජිනේරු පරීක්ෂණ සිදුකර, තාක්ෂණික නිර්දේශ ලබාගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) වෙත යොමු කෙරුණි.
දැනට NBRO ආයතනයේ නිර්දේශයන්ට අනුව Reno Mattress, Geotextile සහ ජල බැසයාම විධිමත් කිරීමේ පද්ධති ඇතුළත් තාක්ෂණික විසඳුම් යොදාගනිමින් අඹතලේ ජල පාලන වේල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවේ. මෙමඟින් වේල්ලේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කර, ජල කාන්දුවීම් පාලනය කරමින් අනාගතයේදී අවට ජනතාවගේ ජීවිත හා දේපළ වඩාත් ආරක්ෂිත කිරීමට බලාපොරොත්තු වේ.















