ලොව සුප්‍රකට LIV Golf ලීගයේ අනාගතය පිළිබඳව දැඩි සැකයක් මතු කරමින්, එහි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් ඕ’නීල් (Scott O’Neil) විසින් “ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා” දැඩි වෙහෙසක් දැරිය යුතු බව පිළිගෙන තිබේ. ඔහු පවසන්නේ 2026 වාරය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනට පවතින නමුත්, ඉන් ඔබ්බට තරගාවලිය පවත්වාගෙන යාම සඳහා නව මූල්‍ය ආයෝජන සහ ව්‍යාපාරික සැලසුම් අත්‍යවශ්‍ය වන බවයි.
මෙම ප්‍රකාශය ඇතුළත් සම්මුඛ සාකච්ඡාව සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර පසුව සංස්කරණය කර යළි පළ කිරීමත් සමඟ මේ පිළිබඳ කසුකුසුව තවත් උග්‍ර වී ඇත. සෞදි අරාබියේ රාජ්‍ය ආයෝජන අරමුදල (PIF) මඟින් ලැබෙන මූල්‍ය ආධාර නතර වීමේ අවදානමක් පවතින බවට ද වාර්තා පළ වේ. LIV Golf මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 කට වඩා වියදම් කර ඇති අතර, වසර අවසානය වන විට එම වියදම ඩොලර් බිලියන 6 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ. කෙසේ වෙතත්, ටිකට්පත් අලෙවිය සහ කණ්ඩායම් අනුග්‍රාහකත්වයන් හරහා යම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බව ද ඕ’නීල් පවසයි.













