ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි, ලොව පුරා වෙසෙන බෞද්ධයන් අතිපූජනීය ම ස්ථානයක් ලෙස සලකන ‘මහාබෝධි’ විහාරය සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබේ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මෙම පූජනීය ස්ථානය වර්තමානයේ පාලනය කරනු ලබන්නේ හින්දු භක්තිකයන් බහුතරයක් සිටින කමිටුවක් මගිනි.
1949 බුද්ධගයා විහාර පනත යටතේ ස්ථාපිත මෙම කමිටුවේ සාමාජිකයන්ගෙන් හතර දෙනෙකු බෞද්ධයන් වන අතර, තවත් හතර දෙනෙකු හින්දු භක්තිකයෝ වෙති. දිසා මහේස්ත්‍රාත්වරයා (සාමාන්‍යයෙන් හින්දු භක්තිකයෙක්) මීට ප්‍රධානත්වය දරන අතර, රජය විසින් නම් කරනු ලබන මෙම සාමාජිකයන්ගේ ධුර කාලය වසර තුනකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කමිටුවේ බහුතර බලය සැමවිට ම හිමි වන්නේ හින්දු භක්තිකයන්ට ය.
මෙම තත්ත්වයට එරෙහිව ඉන්දියාවේ වෙසෙන දහස් සංඛ්‍යාත බෞද්ධයෝ 1949 බුද්ධගයා විහාර පනත අහෝසි කර, විහාරයේ සම්පූර්ණ පාලන බලය බෞද්ධ ප්‍රජාව වෙත පවරන ලෙස ඉල්ලා රට පුරා විරෝධතා පවත්වති. පසුගිය වසර එක හමාරක කාලය පුරා බොහෝ පිරිසක් මහාබෝධි විහාරය ආසන්නයේ නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටිති. අනෙක් අතට, හින්දු භක්තිකයෝ ද මහාබෝධි විහාරය සමඟ තමන්ට සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කරති.














