ලොව පුරා පවතින යුදමය වාතාවරණයන් නිමා කර සාමය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික අති පූජ්‍ය මහනායක ස්වාමින්වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය විදේශ තානාපතිවරුන් වෙත පිළිගැන්වීම අද සිදු විය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම විශේෂ වැඩසටහන පැවැත්විණි.
ජනාධිපති කාර්යාලයේ ද සහයෝගය ඇතිව සම්පාදනය කරන ලද මෙම ඒකාබද්ධ ප්‍රකාශය, දැනට ලෝක යුද්ධ හා ගැටුම්වලට මැදිව සිටින රටවල මෙරට සිටින තානාපතිවරුන් වෙත නිල වශයෙන් ඉදිරිපත් කෙරිණි. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින්වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමින්වහන්සේ, පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමින්වහන්සේ සහ පූජ්‍ය අංකුඹුරේ පේමවංශ ස්වාමින්වහන්සේ යන අනුනායක ස්වාමින්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ සඳහන් කළේ, මානව වර්ගයාගේ යහපත උදෙසා ප්‍රචණ්ඩත්වය පිටුදැක සාමය මගින් ප්‍රශ්න විසඳාගැනීමට ලෝක නායකයන් දිරිමත් කිරීම මෙම ප්‍රකාශයේ මූලික අරමුණ බවයි.














