මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (04) පාර්ලිමේන්තුවට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.ඒ අනුව, පසුගිය අගෝස්තු 01 වැනිදා පස්වරු 3:45 ට පමණ මහර බන්ධනාගාරයේ සිරකරුවන් තිදෙනෙකු මුළුතැන්ගෙයි වහලය මතට නැඟී විරෝධතාවයක් ආරම්භ කළ බවත්, බන්ධනාගාර නිලධාරීන් සාකච්ඡා මාර්ගයෙන් එය විසඳීමට උත්සාහ කළද ඔවුන් එයට එකඟ වී නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පසුව පස්වරු 4:15 ට පමණ රැඳවියන් 1,000කට ආසන්න පිරිසක් ප්‍රධාන දොරටුව අසලට පැමිණ කලහකාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රධාන යකඩ දොරටුව වසා දමා පිටතට පැමිණීමට සිදුව ඇත.රැඳවියන් විසින් නිලධාරීන්ට ගල් මුල්වලින් ප්‍රහාර එල්ල කරමින් දොරටුව කඩාගෙන පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති අතර, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් ප්‍රධාන ජෙනරල් කාර්යාලය, විනය අංශය, කර්මාන්ත අංශය, ඖෂධ ගබඩාව සහ මුළුතැන්ගෙය යන ස්ථානවලට ගිනි තබා විශාල දේපළ හානි සිදු කර තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව කැඳවූ අතර, අගෝස්තු 02 වැනිදා උදෑසන 7:00 වන විට සියලුම රැඳවියන් නැවත වාට්ටුවලට දමා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකි විය.මෙම සිදුවීමෙන් රැඳවියන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, එක් රැඳවියෙකු මියගොස් ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු හානියක් සිදු වී නැත. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ක්‍රියාව මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ආකාරයේ මත්ද්‍රව්‍ය හෝ පාතාල කල්ලි අතර ඇති වන ගැටුමකට වඩා, ඉතා සංවිධානාත්මක ලෙස පාලන තන්ත්‍රයට එරෙහිව සිදු කරන ලද ක්‍රියාවක් බවයි.















